සමෘද්ධි ජාතික වගා ක්‍රියාන්විත වැඩසටහන යටතේ දිවයිනේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල භූමි තුළ වගා කටයුතු එකවර ආරම්භ කිරීම 2022/07/05 දින සිදු වූ අතර එයට සමගාමීව කළුතර දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතාගේ උපදෙස් හා මග පෙන්වීම යටතේ දිස්ත්‍රික් ලේකම් නිල නිවසේ සහ කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල භූමියේ ද වගා කටයුතු ආරම්භ කෙරිණි.
මෙහිදී දිස්ත්‍රික් ලේකම් නිල නිවසේ කිරි අල සහ මඤ්ඤොක්කා වගාව ද දිස්ත්‍රික් ලේකම් පරිශ්‍රය තුළ ගෙඩි ගෝවා, වම්බටු. මිරිස්. තක්කාලි වැනි එළවළු වර්ග වගා කෙරුණි.
මෙම වගා සංග්‍රාම කටයුත්ත කළුතර අතිරේක දිස්ත්‍රික් ලේකම් තිලංකා වෙත්තසිංහ සහ අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම් ) බුද්ධිණී ගුණවර්ධන මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මීට සමගාමීව 2022/07/06 දිනයේදී දිවයිනේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පරිශ්‍රවල වගා කටයුතු ආරම්භ කෙරෙන අතර සියලුම ග්‍රාම නිලධාරි කොට්ඨාශවල එක් වසමකට ආදර්ශ ගෙවතු 10 බැගින් ද 2022/07/07 දිනයේදී ආරම්භ කිරීමට නියමිතය. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයද සමෘද්ධි වගා ක්‍රියාන්විත වැඩසටහනට අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රවල මෙන්ම ග්‍රාම නිලධාරී කොට්ඨාශවල වසම්වල ද වගා කටයුතු සැලසුම් කර ඇත.
මෙම අවස්ථාවට කළුතර ප්‍රාදේශීය ලේකම් එස්.ත්‍රිමාන්න, කළුතර දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ එල්. කේ. මධූෂ සංකල්ප, සහකාර අධ්‍යක්ෂ මහේෂ් ප්‍රනාන්දු, කළුතර දිස්ත්‍රික් සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ජේ. ඒ. තුසිත නන්දන යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු රැසක් එක් වූහ.